ගුරු කතා,..

නගරයෙන් ගව් ගණන් දුර මහා වන ගහනයකින් වට වූ කුඩා ගමෙක පාසලකි. ළමෝ හතළිස් දෙනෙක් පමණ ඉගෙනුම ලැබූ එහි සේවය කළේ එක ම ගුරු මහතකු පමණි. දේශපාලන දඬුවමක් වශයෙන් සයිබීරියාව නමින් හැඳින්වෙන එම පාසලට මාරුවීමක් ලද හෙතෙම ගුරු සංගම් නායකයෙක් විය. තනතුරින් විදුහල්පති ශ්‍රේණිධරයෙකි. විදුහල්පති දවසේ වැඩ ඇරඹීය. පන්ති හතක විසිර සිටින නෙරා ගිය බඩ ගෙඩි වලින් හා ගිරහේනි කොරපොතුවලින් පිරුණු දෙපා ඇති සෝමාරි ශිෂ්‍ය ශිෂ්‍ය...ාවන් වැඩෙහි යෙදවීය.
කලිසමක් ඇඳි, අව් කන්නාඩි යුවලක් පැළඳගත් ජැන්ඩි පහේ මහතෙක් කැළය අස්සෙන් මතු වී පාසලට පැමිණියේ ය.
"මං ශාරීරික අධ්‍යාපනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගෙන අලුත මෙහාට පත්වෙලා ආවෙ. මේ දිස්ත්‍රික්කෙ ශාරීරික අධ්‍යාපනය බොහොම දුර්වලයි. ගුරුවර ගුරුවරියන් තමන්ගේ වගකීම පැහැර හැරල තියනව." ඔහු කතාව ආරම්භ කළේ පමණට වඩා හිතට ගත් බව විදුහල්පතිට දන්වමිනි. විදුහල්පති අන්ත බයාදු මෝඩ ගුරුවරයෙකු ගේ ඉරියව් පාමින් දේශනයට සවන් දුන්නේය.
"මහත්තය මේ ළමයින්ට ශාරීරික අධ්‍යාපනය කරනව ද?"
"ඔව් මං ඉස්කෝලෙදි ටිකක් කරනවා. ඉතිරි හරිය ගෙදරදි පුරුදු වෙන්න දෙනව"
"මොනවා? ගෙදරදි කොහොමද පුරුදු වෙන්නෙ ගුරුවරයෙක්ගෙ මග පෙන්වීමක් නැතුව?" ඔහුගේ උච්චාරණය තුළ වූයේ "හ්ම්, මං අද දෙන්නම් බොට වැඩක්" වැනි හැඟීමකි.
"මේ ළමයින්ගෙ අම්මල තාත්තල හරිම ශාරීරික අධ්‍යාපනකාරයො ටිකක්. ළමයි හේන්වලට අරන් ගිහින් හොඳට පාඩම් උගන්වනව." විදුහල්පති ඇඟට පතට නොදැනී කීවේය.
නිලධරයාට ඌරු ජුවල් නැංගේ ය.
"මහත්තය උගන්වලා තියන හරිය දැං බලන්න ඕන. පාඩමක් කරලා පෙන්වන්න."
ළමයින්ට මිදුලට යාමට විදුහල්පති නියම කළේය. ළමෝ මිදුලට ගියහ. විදුහල්පති ද නිලධරයා ද මිදුලට පැමිණියහ.
"කෝ අද උදේට කෑවෙ නැති ළමයි. අත උස්සනවා" විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි.
ළමයින්ගෙන් අඩකට වැඩි පිරිසක් අත් එසවූහ.
"තොපිට උදේට කාල එන්න බෑ. ශාරීරික අධ්‍යාපනේ කරන්න ගියාම කලන්තෙ හදාගන්න බලගෙන එනවා... හ්ම්! කෑවෙ නැති උන් අයින් වෙයල්ල. උදේට නොකා එනව මෙතන සරඹ කරන්න." බොරු කෝපයක් හිතට ගෙන විදුහල්පති ළමයින්ට සත්තමක් ඇරියේය.
"කෝ ඊයෙ රෑට කෑවෙ නැති ළමයි අත උස්සනවා"
විදුහල්පති විමසත්ම හත් අට දෙනෙක් ම අත් එසවූහ.
"රෑට කෑවෙ නැතිව එනව මෙතන ශාරීරික අධ්‍යාපනය කරන්න. මුන්ට කොච්චර කිවුවත් කාල එන්නෙ නෑ. කලන්තෙ හැදිල වැටෙන්නෙ නැතුව අයින් වෙයල්ල."
"කෝ ඊයෙ දවල්ට කෑවෙ නැති ළමයි අත් ඔසොවනවා" විදුහල්පති එසේ කියත ම එක් ළමයකු හැර සෙසු පිරිස අත් එසවූහ.
"ඊයෙ දවල්ටවත් මුන් කාල නෑ. මුන් හොරකමට නොකා ඉන්නෙ. ශාරීරික අධ්‍යාපනේ කොරන්න වෙනවට. බලන්න මහත්තයෝ පුංචි කමට මුන්ගෙ තියෙන හොරකම. මෙතන කලන්තෙ දාල වැටෙන්නෙ නැතිව අයින් වෙයව් කාලකන්නි" විදුහල්පති ගෝරනාඩු කළේය.
ඉතිරි වූ ළමයාට පාඩම ඉගැන්වීමට විදුහල්පති සැරසිණි.
කණ්ඩායම..... සීරුවේන්... සිටීන්....
තනි වූ ළමයා උඩ බිම බලයි.
කණ්ඩායම....... පහසුවේන්.... සිටීන්
කණ්ඩායම....... තනි පෙළ..... සෑදේන්......
නිලධරයාට කරගත් මෝඩකම ගැන හිතෙනට ඇති. ගොළු වී සිටි හෙතෙම ආයාසයෙන් "ඇති මහත්තය ඇති"යයි කීය. පාඩම අවසන් විය.
ලොග් පොත ඉල්ලා ගෙන පැමිණි වග පමණක් සටහන් කළ නිලධරයා රතුකරගත් මුහුණෙන් යුතුව අඩියෙන් දෙකෙන් ලිස්සා ගියේය.
(උපුටා ගැනීම - ගුරු සේවයේ රසකතා - සරඹ පාඩම සහ තවත් කතා 1994 පියසේන කහඳගමගේ),...
[සහී],...
No comments:
Post a Comment